Friday, April 12, 2024

නැකත් දෙකේ අවුරුද්ද..

           ගිය අවුරුද්දේ රිවීව් එකෙන් පස්සේ ලියන්න තියා ඔලුව උස්සගන්න වත් උනේ නෑ. වැඩ හිටු කියල. මම හිතන්නේ ජීවිතේ වැඩියෙන්ම එකක් පස්සෙන් එකක් වැඩ සෙට් උන මාස 3 ද කොහෙද ගෙවිල ඉවර උනේ.      

          ඔක්කොම වැඩ අහවර වෙලා (අහවරයි කිව්වට අහවරමත් නෑ.. ගුහාව අස් කරන එකට විරාමයක් දීලා තමා මේ ලියන්නේ) ඔන්න මේ පැත්තේ ආවා සුපුරුදු අවුරුදු පෝස්ටුව දාන්න..

          අවුරුදු කියද්දී මතක් උනේ, හත්තිලව්වේ මේ පාර අවුරුදු නැකත් සීට්ටු දෙකක් නේ.. පළවෙනියට ආපු එකේ ශෝක් නැකත් ටිකක් තිබ්බා. ඒකෙ හැටියට වැඩ අල්ලන්න තිබ්බේ නිර්වස්ත්‍රයෙන්... ආ නෑ මේ නිල් වස්ත්‍රයෙන් සැරසිලා රෑ 12.06ට! ඔය ගැන ටීවී එකේ, තව ෆේස්බුක් එකේ එහෙම බොහොම උණුසුම් විවාද කීපයකින් පස්සේ, ජාතික “නැකත් පාය” විසින් මොකද්ද සංශෝධනයක් කරලා පහුවදා උදේට දාලා තිබ්බා. 

මුල් සීට්ටුව 

 

සංශෝධිත නැකත් පත

          ඒ උනාට අර පරණ සැට් එක ඒක පිළිගන්න බෑ ම කිව්වා! ඔන්න මම නැකත් සීට්ටු දෙකම අමුණනවා මේ පොස්ටුව ට පහලින්. කැමති කෙනෙක් කැමති විදියකට සමරගන්න පුළුවන්. එතකොට අඟහරු ලෝකේ මම මොකද්ද පිළිපදින්නේ?

          අනේ ආයිබෝවං, බුදු බණේ තියනවා නේ “අත්ථො අත්ථසස නක්ඛත්තං - කිං කරිස්සන්ති තාරකා” කියල. ඒ නිසා මම නම් මට ඇහැරුන වෙලාවක කනවා. නැකතට කරලා මොනවද මෙච්චර කල් හරි ගියේ ඇත්තට? අනික් අතට, නැකතට නොකරා කියල වැරදුන දෙයක් තියනවා කියල මට නම් මතකයක් නෑ (මගේ පෞද්ගලික ජීවිතේ).

          කොහොමින් කොහොම හරි, මේ නැකත් අවුල එක්ක, ඔය අවුරුදු උදාව ගැන අපි දන්න “සූර්යයා මීන රාශියේ ඉඳන් මේෂ රාශියට යනවා” කියන කතන්දරේ ගැන මම ටිකක් හෙව්වා. ඔය රාශි චක්කරේ කියන්නේ අහසේ තියන රටා 12ක් නේ. අපි පොළවේ ඉඳන් අහස බලද්දී, අපි එක තැන ඉන්නවා, ඉර යනවා වගේ නේ පේන්නේ. ඒත් ඇත්තටම වෙන්නේ පොළොව ඉර වටේ යන එක නේ.

          කොහොම හරි, ඔය යන ගමනේදී, ඉතාම සරලව කිව්වොත්, ඉර ඔය තාරකා රටා වලින් නිරූපණය වෙන රාෂි 12 පසුබිම් කරගෙන තමා චලනය වෙනවා වගේ පේන්නේ. ඕකේ රවුම ගහලා ආපහු මුලට එන එක නේ ඔය අවුරුද්ද කියල සමරන්නේ.

          මේ ගැන මහාචාර්ය නලින් ද සිල්වා ෆේස්බුක් අඩවියට එකතු කරලා තිබුන පෝස්ට් එකකින් කොටස් කිහිපයක් මම උපුටලා මෙතන දානවා. මේකේ සම්පූර්ණ කතෘ අයිතිය එතුමා ගේ.

මේ සමග රුප සටහනක් ඇති. එයින් පෙන්නන්නෙ ඛගෝලය. (හිස් ගෝලය celestial sphere ) ඒ ඛගෝලයෙ පෘථිවි සමකය ප්‍රක්‍ෂෙපණය කරල තියෙනවා. ඒ වගේ ම සූර්යයාගේ ගමන් මාර්ගයත් (ක්‍රාන්ති වලයය ecliptic) ප්‍රක්‍ෂෙපණය කරල තියෙනවා.ඇඳලා තියෙනවා කිවුවත් කමක් නැහැ. පෘථිවිය තම අක්‍ෂය වටේ පැය විසිහතරකට සැරයක් කැරකෙනවා. ඒ අතර එහි අක්‍ෂයත් බමරයක වගේ අවකාශයෙ අචල අක්‍ෂයක් වටේ කැරකෙනවා. එ නිසා අර සමකයේ ප්‍රක්‍ෂෙපණය වෙනස් වෙනවා. මේ බමර සෙල්ලමට පූූර්වායනය (precession) කියා කියනවා. 

අමුණා තිබුණු රූප සටහන

          සමකයේ ප්‍රක්‍ෂෙපණයත් ක්‍රාන්ති වලයයෙ ප්‍රක්‍ෂෙපණයත් ඡෙදනය වන ලක්‍ෂ්‍යයට මේෂ රාශියේ ප්‍රථම ලක්‍ෂ්‍යය කියනවා. එය ග්‍රීක හෝඩියෙ ගැමා අක්‍ෂරයෙන් හැඳින්වෙනවා. සූර්යයා තම වාර්ෂික ගමනේ දක්‍ෂිණාර්ධ ගෝලයේ සිට උත්තරාර්ධගෝලයට යන එක සනිටුහන් වෙන්නෙ ගැමා ලක්‍ෂ්‍යයෙන්. ඒ ක්‍රාන්තිවලයයේත් සමකයේත් ඡෙදන ලක්‍ෂ්‍යය. සූර්යයා සමකය හමුවෙන ලක්‍ෂ්‍යය. අර පූර්වායනය නිසා ගැමා ලක්‍ෂ්‍යය අවුරුදු හැත්තෑදෙකකට දවසක් පමණ ඉදිරියට යනවා. අවුරුදු දෙදදහකට පමණ පෙර ශක වර්ෂ ක්‍රමය ආරම්භ වෙන කාලෙ සූූර්යයා ඔය ගැමා ලක්‍ෂ්‍යය පසු කෙළෙ මාර්තු 21 වෙන්න ඕන. අවුරුදු දෙදහකට විතර පස්සෙ අද එය සිිද්ධ වෙන්නෙ අප්‍රේල් 18 19 දිනවල. ඒ අනුව සමහරු සූර්යයා මීනයෙන් මේෂයට යන්නෙ මාර්තු 21 හරි අප්‍රේල් 18 19 හරි කියල ගන්නවා. මාර්තු 21 වැනි දා බටහිර ලෝකයෙ වසන්ත කාලය නිල වශයෙන් ආරම්භ වෙනවා.

          අපි අහසෙ ග්‍රහයන් යන වළල්ල හඳ අනුව නකත් 27කට බෙදුවට බැබිලෝනියන්වරු රාශි දොළහකට බෙදුවෙ. වෛදිකයන් මේ පද්ධති දෙක එකතු කරා කියල හිතන්න පුළුවන්. ඔය තුලා ලග්නය සිත නකත හා සම්බන්ධයි. තුලා ලග්නයෙ ප්‍රධාන ආරම්භක තාරකාව ස්පිකා කියල හඳුන්වනවා. එයට චිත්‍ර නක්‍ෂත්‍ර කියල වෛදිකයන් කිවුව. චිත්‍ර නක්‍ෂත්‍රට හරියට ම අනෙක් පැත්තෙ තියෙන මාසය වෛදිකයන් චිත්‍ර මාසය කියා හැඳින්නුවා. අර චිත්‍ර (ස්පිකා) තරුවට හරියට ම අනෙක් පැත්තට සූර්යයා එන දිනය සූර්යයා අලුත් අවුරුද්ද ආරම්භ වෙන දිනය ලෙස ගන්නවා.

          මට හිතෙන්නෙ එය රේවති අස්විද නකත් සීමාව මීන මේෂ රාශි සීමාවට එක් කරන්න ගිහින් වෙච්ච දෙයක්. සූර්යයා රේවති නකතෙන් අස්විදයට යන්නෙ අප්‍රේල් 13 14 15 දිනවල. මේෂ රාශියෙ මුල තියෙන්නෙ අස්විද නකතෙ මුල නොවෙයි. එය තියෙන්නෙ අස්විද නකතෙ දෙවැනි පාදයෙ විතර. නකතක් පාද හතරකට බෙදල තියෙනවා. ඒ කියන්නෙ අර වළල්ල පාද 108කට. පාද 108ක් යන්න දින 365ක් යනවා නම් පාද එකකට ටිකක් වැඩියෙන් විතර යන්න දින තුන හතරක් යනවා. අපේ අවුරුද්ද අප්‍රේල් 18 19 නැතුව අප්‍රේල් 13 14 වෙන්නෙ එ නිසා කියයි මා හිතන්නෙ. අපි භාරතීය පද්ධතියට යටවෙල සූර්යයා මීනයෙන් මේෂයට යෑමක් ගැන කිවුවට අප සමරන්නෙ සූර්යයා රේවති නකතින් අස්විද නකතට යෑම කියලයි මට හිතෙන්නෙ.”

          මහාචාර්ය නලින් ද සිල්වා කියන්නේ මේ විදියට. මම මේක උපුටලා මෙතන දැම්මේ, දහම් පාසලේ දරුවෙක් අද අහනවා, අවුරුදු දවස් මෙහෙම වෙනස් වෙන්න හැකි ද කියල. හැකියි කියල කිව්වට, ගොඩක් අය හිතන්නේ එක්දාස් අටසීය බර ගණන් වල ඉඳලම හැමදාම අවුරුදු වෙලා තියන්නේ අප්‍රේල් 12- 14 අතර කියල. නෑ ඒක එහෙම නෑ.

          කොහොමින් කොහොම හරි, මේ අවුරුද්ද පහුගිය අවුරුදු දෙක තරම්වත් ලොකුවට හිතට දැනුනේ නැහැ මේ ඔක්කොම එක්ක. 2022 නම් අරගල අනංමනං එක්ක සෑහෙන කතන්දර නේ. 2023 (ගිය අවුරුද්දේ) නම් බංකොලොත් ලබන්න ඔන්න මෙන්න කියල මම හිටියේ ට්‍රේනිං එකේ අන්තිම කාලේ. මේ අවුරුද්දේ තමයි ඇත්තම කිව්වොත් 2019 ට පස්සේ සුපුරුදු පරිදි රෙදි එහෙම අරගන්න චක්‍රයට යන්න ලැබුනේ.

          ඇඳුම් වල ගණන් දැක්කම නම් හැබැයි සසර කලකිරුණා. මම එහෙම කිව්වට, මේක ලියවෙන 12 වෙනිදා රෑ වෙද්දීත් ගොඩක් ඇඳුම් කඩවල් වල පෝලිම් කියල මම ෆේස්බුක් එකෙන් එහෙම දැක්කා. මිනිස්සු කොහොම හරි සතුටු වෙන්න, තමන්ගේ නෑයෝ සතුටු කරන්න බලනවා. මම සාමාන්‍යයෙන් අවුරුද්දට යන ගෙවල් දෙකක් තිබ්බා යාලුවන්ගේ. මේ පාර එක්කෙනෙක් රුමේනියාවේ. අනික් කෙනා පවුල් බරත් එක්ක බිසී වෙලා. ඒ නිසා මේ පාර මට එහෙමට කියල යන්න තැනකුත් නෑ. මතක හැටියට 2003න් වගේ පස්සේ මේ විදියට තනියම අවුරුද්දක් ගෙවනවාම ද කොහෙද (2020 අදාළ කරගන්න බෑ ඉතින් හැමෝම ගෙවල් වල නේ).

          දහම් පාසල් සේවයෙන් අයින් උන නිසා, ඒ උත්සව ගැන ලියන්න කියල දේකුත් නෑ මේ පාර. කොහොමත් 2019 මිස් උනාට පස්සේ එකක් තිබ්බේ ම නෑ, ඊට පස්සේ හිටිය අවුරුදු ටිකේ උනත්. ඉස්කෝලේ නම් කොහොමත් ඤැහ් නේ.. වටේ පිටේ උනත් මේ පාර අවුරුදු උත්සව අඩුයි. ඔය අහු අස්සේ තරඟ කිහිපයක නම් වෙනස් කරලා තියනවා දැක්කා රජයේ මැදිහත් වීමෙන්..

          මේ පාර අවුරුදු පෝස්ට් එක බොහොම කෙටියි. නලින් ද සිල්වා මහාචාර්යතුමාගේ පෝස්ට් එකක් දාලා ඇඟ බේරාගෙන කියන්න නම් එපා, ඇත්තටම අවුරුද්ද ගැන ලියන්න මහා ලොකු යමක් නෑ මට මේ පාර. 

          එහෙනම්, ලියන කියවන හැමෝටම, ලබන්නා වූ (කීයට හරි) අලුත් අවුරුද්ද, සියලු බලාපොරොත්තු ඉටු කරගැනීමට ශක්තිය නැණ නුවණ ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!

Monday, January 1, 2024

අට ලෝ දහම අතර ගෙවුන වසරක ආවර්ජනය


            තවත් වසරක අගට ඇවිත්.. මේ අවුරුද්ද ගැන නම් ලියන්න සෑහෙන දේවල් තියනවා රිවීව් එකක් විදියට. ලියාගෙන යනකොට සමහර දේවල් මිස් වේවි. හැබැයි එහෙම උනත් සෑහෙන දේවල් තියනවා.

          මුලින්ම, මේ අවුරුද්ද මම පටන් ගත්තේ දුම්රිය සේවයේ ඉඳගෙන. හිටිය නවාතැන මාරු වෙලා අලුත් නවාතැනක් හොයාගන්න තමා පළවෙනි දවස් ටික ගියේ. ඒ වැඩේ ට දුම්රිය සේවයේ හිතවතුන් ම කීපදෙනෙක් උපකාර කරා (ඒ ගැන පෝස්ට් සීරීස් එකේ දී කියන්න බලාපොරොත්තු වෙන නිසා මෙතන ලියන්නේ නැහැ). කොහොම හරි අලුත් නවාතැනකට ජනවාරි මාසේ මාරු වෙලා, රත්මලානේ ඉතුරු වෙලා තිබ්බ ටික කරගන්න ලැබුනා. 

විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන්ට වැඩසටහනක්..

          ඔය කාලේ ඉතිං හැමදාම තියරිය උදේ රත්මලානට- හවස නවාතැනට. සිකුරාදා රෙදි පෙරෙදි අකුලාගෙන ගෙදරට. ඔහොම එන දෙවෙනි සතියෙම, ඉහල කෝට්ටේ කිට්ටුව කෝච්චිය පීලි පැන්නා.. ඕක තමා අවුරුද්දේ පළවෙනි ඇක්සිඩන්ට් එක. 

පීලි පැනපු දුම්රිය එන්ජිම.. - M9 - 867

          ඔය රත්මලානේ මම හිටිය අන්තිම ෂොප් එක, අංක 30 කියන්නේ කෝචස් වල වයරින් එහෙම ගැන බලන එකක්. ඕකේ ඉද්දි මම සෙට් උනා තිරිංග මැදිරියක වයරින් අදින්න. කොහොම හරි, රත්මලානේ මේ අවුරුද්දේ මට ඉතුරු වෙලා තිබ්බේ බොහොම සුළු කාලයක් විතරයි. ඒ ටික අංක 30, 31 කර්මාන්තශාලා වල තමා ගෙවුනේ.

          ඔය ෂොප් එකේ දී මට කරන්න හම්බුන තව දෙයක් තමයි, ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනයට, මෝටර් වයින්ඩ් කරන හැටි ගැන ප්‍රසන්ටේෂන් එකක් හදන්න දායකත්වය දෙන්න ලැබීම. මේක මම හිතන්නේ තාම ඒ ටෙක් එකේ තියනවා. 

මෝටර් එතීම පිලිබඳ ඉදිරිපත් කිරීම සඳහා තොරතුරු රැස්කිරීම. 

          ඔය අතරේ ඉතින් ලේ දෙන්න සෙට් උනා, ඒ අස්සේ මගේ කසින් කෙනෙක් වෙන දම්සර මල්ලි විවාහ ජීවිතේට ඇතුලත් උනා, ඒ වෙඩින් එක තිබ්බේ කොළඹ. මේ වෙද්දී මෙහෙ ම නැවතිලා හිටි නිසා ඉතින් වැඩි කරදරයක් නැතුව යාගන්න හැකි උනා. 

දම්සර මල්ලීගේ විවාහ උත්සවය. 

          ගිය අවුරුද්දේ ඉස්කෝලේ හිටිය අන්තිම කාලේ සෙට් උන සර් කෙනෙක් එක්ක කඩුගන්නාව ඉඳන් පහලට රේල් හයික් එකක් යන්න චාන්ස් එකක් හම්බුනා. අවුරුද්දේ පළවෙනි හයික් එක කිව්ව හැකි. අපි කොහොම හරි ගංගොඩ වෙනකල් ආවා. ආපහු ගෙදර එනකොට ඉස්සරහ ලෙවල් ක්‍රොසින් එකේ කාර් එකක් හැප්පිලා. හිටිය අයගෙන් 3 දෙනෙක් ම මියගිය බව අහන්න ලැබුනා. 

පළවෙනි හයික් එක. සේයාරුව - කාවින්ද ජයවීර.

උඩරට මැණිකේ හා ගැටුණු මෝටර් රිය..

          රත්මලානෙන් පස්සේ මට යන්න උනේ දෙමටගොඩ, මරදාන පැත්තට. මේ අහලක ඉතින් කැරකෙනකොට, මට චාන්ස් එකක් හම්බුනා ලංකාවේ හදපු පළවෙනි අධි වේගී විදුලි මෝටර් රථය, වේගා එක සහ ඒ සමාගම් පරිශ්‍රය නරඹන්න. ඒ වගේම, මගෙන් යාන්ත්‍රික තාක්ෂණය හදාරපු සිසුන් පිරිසක් රත්මලාන කර්මාන්ත පරිශ්‍රය වෙත එක්කන් යන්නත් හැකි උනා. 

රත්මලාන දුම්රිය කර්මාන්තශාලා පරිශ්‍රය වෙත ගමනක්..

වේගා 

          මේ පාර කොහොම හරි ඉස්කෝලේ පිරිතත් තිබ්බා. මට දරුවෝ ටික කතා කරලා කිව්වා සර් පිරිතටයි දානේටයි අනිවාර්යයෙන් එන්න කියල. මම ඉතින් මේ සැරේ ඉස්කෝලේ නොහිටි නිසා දානෙට නම් ගියේ නැහැ, හැබැයි පිරිත් ටික අහලා ආවා. 

පරිත්‍රාණ ධර්ම දේශනය.

          පුහුණුවේ දෙවන අධියර ට මට යන්න තිබ්බේ සංඥා උප දෙපාර්තමේන්තුව ට. මේකේ වැඩි හරිය තිබ්බේත් මරදාන - දෙමටගොඩ අතර. සංඥා පද්ධති, රිලේ හවුස් වල තමා ඒ කාලෙන් වැඩි හරිය ගෙවුනේ. ඔය අහු අස්සේ, මාර්තු මාසේ කියන්නේ කොළඹ ට මොන වගේ කාලයක් ද කියන එක හොඳට ම අත් දකින්න සලස්වමින්, අපි හිටිය පැත්තට හවස පැය දෙකක් විදුලිය විසන්ධි කෙරුනා දෛනිකව. 

උගත් ශිල්පයෙන් ප්‍රයෝජන ගැනීම..

          කොහොම හරි, මාර්තු අග සතියේ කොළඹ ඉන්නම බැරි තත්වයක් තිබ්බේ. මට දාලා තිබ්බ කාල සටහන එක්ක, අප්‍රේල් පළවෙනි සතියේ මට පොල්ගහවෙල තමා වැඩ කරන්න තිබ්බේ. වැඩ බාරගන්න යන්න තිබ්බ දවසේ උදේ විහාරමහාදේවි පාසලේ විවාද තරඟයක් විනිශ්චය කරන්න ආරාධනා ලැබිලා තිබ්බා. 

විවාද තරඟය විනිශ්චය අතරතුර. 

          ඒකේ විනිශ්චය එක කණ්ඩායමක් නොපිළිගැනීම සහ, ඒ සම්බන්ධයෙන් ඇති වෙච්ච ප්‍රශ්න නිසා, සෑහෙන කාලයක් ඒ ක්ෂේත්‍රය ට අත නොතියා ඉන්නත්, ඒ අදාළ පාසල සහභාගී වෙන කිසිඳු තරඟයක් නැවත විනිශ්චය නොකරන්නත් මම තීරණය කරගත්තා. ඒ වැඩෙන්, සෑහෙන කාලයක් මං එක්ක හිටිය මගෙන් ශිල්ප ඉගෙනගත්ත දරුවෙකුත් ඈත් උනා. 

ට්‍රයල් එකක්..

චතුර අයියාගේ විවාහ උත්සවය.

          කොහොම හරි, අප්‍රේල් මාසේ අවුරුදු සතියට මට වැඩ කරන්න තිබ්බේ මහනුවරට අනුයුක්ත ව. ගෙදර ඉඳන් පුහුණුවට යන්නත් ඒ නිසා පුළුවන් උනා ඒ කාලේ ඇතුලත. ඊට පස්සේ තමා මේ අවුරුද්දේ ගෙවුන සුන්දරම සතිය මට හම්බුනේ. පුහුණුවේ මීළඟ කාල සීමාව යෙදිලා තිබ්බේ නානුඔය කොටසට. ඔය කාලේ නානුඔය කියන්නේ හරිම සුන්දර ප්‍රදේශයක්. මෙහෙදී උන සුවිශේෂී දෙයක් තමයි, රත්මලානේදී වයර් කරපු අර තිරිංග මැදිරිය යොදපු දුම්රියක් මගින්, කොට්ඨාශයේ වැඩකට යන්න ලැබීම.

          අන්තිම සති දෙක ආපහු කොළඹට තමා යන්න උනේ. ඒ සති දෙකේ කොළඹ නවතින්නේ නැතුව, හැමදාම ආවා - ගියා ගෙදර ඉඳන්. සති දෙකකට වගේ කෙටි කාලයකට නවාතැනක් හොයාගන්න තිබ්බ අපහසුව නිසාත්, මාර්තු මාසේ අත්දැකීම එක්ක කොළඹ තත්වේ තේරිලා තිබ්බ නිසාත් තමයි ඒ විදියට කරේ. කොහොම හරි, මැයි මාසේ 9 වෙනිදා, පුහුණුව සාර්ථකව අවසන් කරලා, දුම්රිය දෙපාර්තමේන්තුව ට සමුදීලා, මම ආපහු නුවර ආවා. 

දුම්රිය සේවයේ සිටි අවසාන දිනය.

ගොඩපොල පන්සලේ නායක ස්වාමීන්වහන්සේ ගේ අවමංගල උත්සවය. 

මහනුවරට ආ M4 - 756 

වෙසක් දින දන්සල.
    

        ඔය අස්සේ ඉතින් වෙසක් එකට ස්ටේෂන් එකේ දන්සැලක් දුන්නා, පන්සලේ වෙසක් කූඩු හැදුවා, පොසොන් එකට භක්ති ගීත වැඩසටහනකට උදව් කරා, ඕවා මේවා ඔක්කොම ඉවර කරලා, මැයි 15 වෙනිදා ආපහු පාසලට සේවය සඳහා වාර්තා කරා. 

මෙම වසරේ විවෘත වූ "මහනුවර නගර නැවතුම" දුම්රිය නැවතුම්පොළ. 

          එදා ඉඳන් ඉතින් තවම මම පාසලේ. ගිය දා ඉඳන් විවාද, මම පටන් අරගෙන භාරදීලා ගිය සයික්ලින් ක්ලබ් එකේ වැඩ, ඊට පස්සේ වාර විභාග, ඔටෝමොටිව් සොසයිටි එකේ වැඩ අනංමනං පෝලිමට සෙට් උනා. ජල රොකට් තරඟයකට දරුවෙක් ඉදිරිපත් කරලා, සමස්ථ ලංකා ස්ථානයක් අරගන්නත් හැකි උනා. 

බයිසිකල් රයිඩ් එකකට ගිය ගමන්..

රන්දෙනිය ටීචර් එක්ක.. මේ තමා අපි දන්නා කාලේ ඉඳන් ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය මෙහෙයවපු රන්දෙනිය ටීචර්, සහ මට 9-11 සිංහල උගන්නපු වික්‍රමනායක ටීචර්. රන්දෙණිය ටීචර් මේ අවුරුද්දෙන් විශ්‍රාම යනවා. 

          ඒ වගේම, දහම් පාසල් තරඟ වලටත් දරුවෝ ඉදිරිපත් කරවලා, පුහුණු කරවලා ජයග්‍රහණ ලබා දෙන්නත් හැකි උනා. ඒ වැඩ වලට ඉතින් පාසලේ, දහම් පාසලේ අදාළ විෂය ක්ෂේත්‍රයේ අය සහාය දුන්නා. මෙතැනදී සඳහන් කරන්න ඕනේ තව දෙයක් තියනවා. ඒ තමයි, 2011 ඉඳන් මේ දක්වා සිදු කල මගේ දහම්පාසල් ගුරු සේවය මේ වසරෙන් අවසන් කරන්න මම තීරණය කළා කියන එක. 

භක්ති ගීත කණ්ඩායම. මේ සඳහා නිවේදන අංශයෙන් යම් දායකත්වයක් ලබා දෙන්න පුළුවන් උනා. 

උපන්දිනේ දවසේ ගිය හයික් එක. මේක ගැන විස්තර කලින් අරගෙන ආවා. 

          ඒ වගේම, පාසලේ යාන්ත්‍රික තාක්ෂණවේදය ඒකකයට ආපහු පණ පොවලා, ළමයි ටික එකතු කරගෙන වැඩ කිහිපයක් කරන්නත් හැකි උනා. එයින් එකක් තමයි, මම යනකොට කෑලි වෙලා තිබ්බ 2019 හදපු යතුරුපැදිය නැවත එකලස් කරලා ක්‍රියාකාරී තත්වයට ගන්න හැකි වීම. 

මෝටර් සයිකලය..

          කර කර හිටිය එක උපාධියක් ඉවර කරගන්නත් හැකි උනා. සෑහෙන කාලයක් ඇදිලා ඇදිලා අන්තිමට දෙසැම්බර් මාසේ තිබ්බ උපාධි ප්‍රධානෝත්සවයේ දී උපාධි ලබන්න හැකි උනා. අනික් පැත්තෙන් උසස් ඩිප්ලෝමාවේ අවසාන අධියරත් සම්පූර්ණ කරගන්න පුළුවන් උනා. 

උපාධිය සම්පූර්ණ කරගන්න පුළුවන් උන එක ගැන සතුටුයි.. උදව් කරපු හැමෝටම ස්තුතියි!

 

මේ තමා මම 2010 ඉඳන් අටවා අටවා පාවිච්චි කරපු පරිගණකය. මේකේ අස්සට හූනෙක් රිංගලා ඉඳලා මේක ගිනිගත්තා. දැන්නම් හදාගෙන දුවනවා. 

          ලෙඩ රෝග ගැන කතා කරොත්, මේ අවුරුද්ද ඒවායින් නම් කිසිම අඩුවක් නැති එකක්. හැම මාසෙම වගේ අඩුම හෙම්බිරිස්සාවක් හරි හැදුනා. ඒ අතරම ඉතින් ලේ දෙන්න හම්බුනා අවුරුද්දේ 4 වතාවක් ම. ඉස්කෝලෙට ඇවිත් පොඩි දවසකින් දොරකට ඇඟිල්ලක් අහු වෙලා, නියපොත්ත ගැලවෙන්නම හානි උනා. කොටින්ම මේ සටහන ටයිප් කරන්නෙත්, පපුවේ ගල් තිබ්බ ගානට සෙම් අමාරුවෙන් පීඩා විඳින ගමන්. 

නියපොත්ත ලෙප්ට්..

මහනුවර තදාසන්න සේවා වල පවතින ගැටලුකාරී තත්වය නිරාකරණය සඳහා ලබා දුන් S12 පන්තියේ කැළණි වැලි කට්ටලය. 

          මේ අවුරුද්දේ මම ඉගෙනගත්ත ලොකුම පාඩම තමා මුදල් කළමනාකරණය. මම කොහොමත් නාස්තිකාර විදියට නම් සල්ලි වියදම් කරන්නේ නැහැ, හැබැයි ඉතාම අවම වියදමකින් ජීවත් වෙන්නේ කොහොමද කියන එක ප්‍රායෝගිකව ම අත්වින්දා මේ අවුරුද්දේ මුල් කාලේ. කොහොම හරි, කොළඹ ඉන්න කාලේ සතියක සියලු වියදම් එකතු කරලා රුපියල් 3500ක උපරිම සීමාවක පවත්වාගෙන ඉන්න ඉගෙනගත්තා. මේක එන අවුරුද්දට ඕනේ වෙයි කියල මට හිතෙනවා යන තත්වේ එක්ක. 

පොත් ප්‍රදර්ශනය. මේ පාර තමා අඩුම අස්වැන්න. පොත් 8ක් වගේ..

          අවසානෙට කියන්න තියන්නේ ඉතින් මිනිස්සු ගැන. මේ අවුරුද්දේ සෑහෙන දෙනෙක් අලුතෙන් හම්බුනා. එක එක ජාතියේ අය. කවදාවත් කලින් නොදැක හම්බ වෙලා, සෑහෙන උදව් කරපු මිනිස්සු වගේම, දශක 3ක් වෙච්ච ජීවිතෙන් වැඩි කාලයක් එකට ඉඳලා, සුළු කරුණු උඩ, නැත්තම් වාසි උඩ අතහැරිලා ගිය අයත් හිටියා. මිනිස්සුන්ගේ හැටි ස්වභාවය අවබෝධ කරගන්න හොඳ අත්දැකීම් සමුදායක් ලැබුණු අවුරුද්දක් කියන්න පුළුවන් මේ වසර. 

මා හට දශකයකට අධික කලක් උපදෙස්, මගපෙන්වීම් හා ගුරුහරුකම් ලබා දෙමින් කලණ මිතුරකු වූ තූර්ය අයියා..

          රටේ තත්වේ ගැන නම් මම කියන්න යන්නේ නැහැ වැඩි විස්තර. අරගල අනංමනං නැති උනාට, සෑහෙන දුෂ්කරතා මැද ගෙවිච්ච වසරක් කියන්න පුළුවන් රටේ හැමෝම බැලුවම. කොතන ගියත් ඒ ආර්ථික පරිහාණියේ ලක්ෂණ දකින්න හම්බුනා. දේශපාලනය ගැන මම සුපුරුදු පරිදි කතා නොකර ඉන්නවා මේකේ.

          කාලගුණය ගැන කතා කරොත්, වැඩි හරියක් ම හොඳට වැහැපු අවුරුද්දක් තමා 2023 කියල කියන්නේ. මේ ටයිප් කරන වෙලාවෙත් වහිනවා. ඒ අස්සේ භූමිකම්පා, කඳු නායයාම අනංමනං සෑහෙන්න තිබ්බා.

          ඉතිං, මේ අවුරුද්දේ මට ලියන්න කියල ඔලුවට එන්නේ ඔච්චර තමා. එන සතියේ ඉඳන් ආපහු කර්මාන්ත පුහුණුව පිලිබඳ සටහන් පෙළ ලියන්න පුළුවන් වෙයි. බ්ලොග් එකට ෆොටෝ ටික දාගන්න එකේ ආපු ප්‍රශ්නයක් නිසා ඒක මග හැරුනා. පරණ ලැප් එකේ ඒ ප්‍රශ්නේ නැහැ කියල මේ පෝස්ට් එක ලියද්දි දැනගන්න හැකි උන නිසා, ඒ ගැටලුව විසඳුනා.

          2024 කියන්නේ 2004 හෝ 2014 නෙවෙයි. ඊට වඩා සහ සම්පූර්ණයෙන් වෙනස් අවුරුද්දක් වෙනවා. ඒ පිලිබඳ ලක්ෂණ දැනටම පහල වෙලා තියනවා. ඉතිං, පෙරයීම් මොනවා උනත්, ඒ අවුරුද්ද හැමෝටම හැකි තරමින් සුබ වේවා කියල ප්‍රාර්ථනා කරනවා..